කොරෝනා මර්ධන වැඩපිළිවෙළ අසාර්ථකයි – ට්‍රම්ප්ට හතර වටෙන් ප්‍රහාර..

0
246

කොවිඩ් – 19 වෛරසය ව්‍යාප්තියේ මුල සිටම එය අවතක්සේරු කිරීම හේතුවෙන් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ක්‍රියා කලාපය මේ වන විට ඇමෙරිකානු මෙන්ම අන්තර්ජාජතික පුවත් සේවා ඔස්සේද දැඩි සේ විවේචනයට ලක්වෙමින් පවතී.

නිව්යෝක් ටයිම්ස් පුවත්පත විශේෂ අනාවරණයක් සිදු කරමින් වාර්තා කර ඇත්තේ ධවල මන්දිරයේ ප්‍රධාන වෙළෙඳ උපදේශක පීටර් නැවෙරෝ (Petar Naverro) විසින් පසුගිය ජනවාරි 29 වැනිදා මෙම වෛරසය හේතුවෙන් ඇමෙරිකානුවන් මිලියන ගණනකගේ ජීවිත අහිමිව ඩොලර් ට්‍රිලියන ගණනක මුදල් රටටම අහිමිවනු ඇති බවට ජනාධිපතිවරයා හට ලිඛිතව අනතුරු හඟවා ඇති බවයි. එතේ ඩොනල්ඩ් ට්‍රම්ප් එම අනතුරු හැඟවීම් ‘මායිම් කර නැතැයි’ද නිව්යෝක් ටයිම්ස් පුවත්පත චෝදනා කරයි. ‘ප්‍රතිශක්තිකරණ එන්නතක් හෝ නිශ්චිත ප්‍රතිකාරයක් වහාම සොයා නොගතහොත් වෛරසය විසින් ඇමෙරිකාව බිලිගනු ඇත.’ යනුවෙන් පීටර් නැවෙරෝ බරපතළ ලෙස අනතුරු හඟවා ඇතැයි එහි සඳහන් වේ.

මේ අතර කොවිඩ් – 19 වෛරසයට ප්‍රතිකාර කිරීම සඳහා මැලේරියා රෝගය සඳහා යොදාගන්නා ‘හයිඩ්‍රොක්සි ක්ලෝරොක්වීන් නම් ඖෂධය සුදුසු බවත් එය ඉන්දියාවෙන් ඇණවුම් කිරීමට තමා සූදානම් බවත් ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ප්‍රකාශ කිරීම එරට වෛද්‍ය විශේෂඥයන්ගේ බරපතළ විවේචනයට ලක්ව ඇතැයි සී.එන්.එන්. ලෝක සේවය වාර්තා කරයි. එක්සත් ජනපදයේ පිළිගත් වෛද්‍ය විශේෂඥයකු වන ඇන්තනි ෆවුසි විසින් චෝදනා කර ඇත්තේ පරීක්ෂණාගාර මට්ටමින් කොවිඩ් – 19 වෛරසයට සුදුසු බවට නිර්දේශ කර නොමැති මෙම ඖෂධය ජනාධිපතිවරයාගේ උපදෙස් මත රෝගීන්ට ලබා දෙමින් ඇති බවයි.

මේ අතර මෙම ඖෂධය ඇමෙරිකානුවන්ට සුදුසු බවට ජනාධිපතිවරයා විසින් සිදු කළ ප්‍රකාශයට විශාල ප්‍රසිද්ධියක් ලබා දෙන ලද්දේ ‘ෆොක්ස් නිව්ස් (එෆ්ඕඑක්ස් නිව්ස්) පුවත් සේවාව විසිනි. ඊයේ සී.එන්.එන්. ලෝක සේවය සමග සජීවී සංවාදයකට එක් වූ ඇමෙරිකානු වෛද්‍ය විශේෂඥයන් පිරිසක් ප්‍රකාශ කරන ලද්දේ ෆොක්ස් නිව්ස් යනු ජනාධිපතිවරයාගේ ඕනෑම ප්‍රකාශයක් විකාශය කරන අපද්‍රව්‍ය බැහැර කරන ‘පයිප්ප මාර්ගයක්’ බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here