අපේ පොල්තෙල් පිරිසුදුයි N-JOY සමාගම කියයි.. N-JOY සමාගමට නඩු දාන බව ඇමති කියයි..

0
131

සිය නිෂ්පාදනයේ ඇෆ්ලාටොක්සින් (aflatoxins) මට්ටම පිළිබඳව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය (CAA) විසින් ලබා දී ඇති තීන්දුව පිළිබඳව දැඩි කනගාටුවට පත්ව සිටින බව එන්-ජෝයි නිෂ්පාදන සමාගම ජනමාධ්‍ය වෙත ප‍්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටී. එම ප්‍රකාශයේ මෙසේ ද සඳහන් කර ඇත.

‘‘මෙම කරුණු ඉතා බරපතළ ලෙස සලකන බවත්, ප‍්‍රමුඛතාවක් ලෙස සලකා මෙම ගැටලුව විමර්ශනය කිරීම සඳහා අවශ්‍ය ඕනෑම සහයෝගයක් ලබා දී මෙහි සැබෑ තත්ත්වය හෙළිදරව් කරගැනීමට කැපවන බවත් අවධාරණය කර සිටීමට කැමැත්තෙමු.’’

‘‘අප සමාගම 1907 වර්ෂයේ සිට වසර 100 කට වැඩි කාලයක් ශ‍්‍රී ලංකාවේ වගකිව යුතු පොල්තෙල් නිෂ්පාදනය කරන පුරෝගාමී සමාගමක් ලෙස ව්‍යාපාරික කටයුතුවල නිරතව සිටී. එහිදී පොල්තෙල් නිෂ්පාදනය කිරීමේ විශිෂ්ටත්වය උදෙසා වසර ගණනාවක් පුරා සම්මාන හා ඇගයීම්වලට පාත‍්‍ර වී තිබීම හේතුවෙන් මෙම සිද්ධිය පිළිබඳව අප දැඩි අවධානයක් යොමු කර තිබේ.’’

ශ්‍රී ලංකාවේ පොල්තෙල් වෙළෙඳපොළේ ප‍්‍රමුඛයකු වන එන්-ජෝයි වසර 20 කට ආසන්න කාලයක් වෙළෙඳපොළේ පවතී. අපගේ නිෂ්පාදන 100%ක් ස්වාභාවික පොල්තෙල්වලින් සමන්විත වන අතර එය කිසිදු රසායනික ක‍්‍රියාවලියකට භාජනය නොකරයි. ශ‍්‍රී ලංකාවේ පාරිභෝගිකයන් විසින් පරිභෝජනය කරන සුදු පොල්තෙල් වර්ග 2 න් එකක් වන මෙම නිෂ්පාදනය දේශීය වශයෙන් ලබා ගන්නා කොප්පරා භාවිත කරමින් දැඩි ජාත්‍යන්තර ප‍්‍රමිතීන්ට අනුකූලව නිපදවනු ලැබේ.

මේ අතර Njoy වෙළෙඳ නාමය යටතේ ප්‍රමිතියෙන් තොර පොල්තෙල් වෙළෙඳපොළට නිකුත් කළ ප්‍රධාන පෙළේ පොල්තෙල් සමාගමට එරෙහිව නඩු පවරන බව සමුපකාර සේවා, අ‌ලෙවි සංවර්ධන සහ පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න ඊයේ (29 වැනිදා) ප්‍රකාශ කළේය.

ඒ අනුව එකී සමාගමට විරුද්ධව ලබන අඟහරුවාදා (04 වැනිදා) මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් ගොනු කරන බව ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී රාජ්‍ය ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

අදාළ සන්නාමය යටතේ මේ වන විට වෙළෙඳපොළේ ඇති පොල්තෙල් තොග ඉවත් කිරීමට සහ එම සමාගමේ පොල්තෙල් නිෂ්පාදනය අත්හිටුවීමට ද කටයුතු කළ බව ඇමැතිවරයා කීවේය.

මෙම සමාගම ප්‍රමිතියෙන් තොර පොල්තෙල්​ වෙළෙඳපොළට නිකුත්කර ඇති බව අරුණ පුවත්පත ඊයේ (29වැනිදා) අනාවරණය කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here