කොරෝනා ආසාදිත පළමු ශ්‍රී ලාංකිකයා ඉතාලියෙන් වාර්තා වෙයි..

0
493

කොරෝනා වෛරසය ආසාදිත පළමු ශ්‍රී ලාංකිකයා ඉතාලියෙන් වාර්තා වන බව ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.

මේ අතර, නව කොරෝනා වෛරසයට ගොදුරු වූ රටවල් ලැයිස්තුවට අද (02) තවත් රටවල් හතරක් එක් විය. ඒ ඉන්දුනිසියාව, ඩොමිනිකන් ජනරජය,ස්කොට්ලන්තය සහ චෙක් ජනරජයයි. ඒ අනුව චීනය ඇතුළු කොරෝනා ආසාදිතයන් වාර්තා වන රටවල් සංඛ්‍යාව 66 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර වාර්තාවන මරණ ගණන 3060 ක්.

සෞඛ්‍ය වාර්තා පෙන්වා දෙන පරිදි මේ වන විට ලොව පුරා නව කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 88000 ඉක්මවයි. චීනයේ ආසාදිතයන් 80174 දෙනෙකු වාර්තා වී ඇති අතර එරට මියගිය සංඛ්‍යාව 2915ක්.

එමෙන්ම 44,518 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් තිබේ. මේ අතර ලොව පළමු වතාවට නව කොරෝනා ආසාදිතයෙකුට පෙනහළු බද්ධ කිරීමට නැගෙනහිර චීනයේ වුක්සි නගරයේ වෛද්‍යවරුන් පිරිසක් සමත්ව තිබේ. මොළය මියගිය පුද්ගලයෙකුගේ පෙනහළු මෙලෙස බද්ද කෙරුණු අතර පැය පහක සැත්කමින් පසු 59 හැවිරිදි රෝගියා ස්ථාවර තත්ත්වයේ පසුවන බව චීන මාධ්‍ය වාර්තා කරන්නේය.

පෙනහළු හර්නන් ප්‍රාන්තයේ සිට ප්‍රවාහනය කිරීමට පැය හතක් ගතවී ඇති අතර චීන මාධ්‍ය එම සැත්කම පිළිබඳ පුවතට වැඩි ඉඩක් ලබාදී තිබුණි. චීනයෙන් පසු නව කොරෝනාහි වැඩිම බලපෑමට ලක්වූ දකුණු කොරියාවෙන් මේ වන විට රෝගීන් 4,335 දෙනෙක් හඳුනාගෙන තිබේ. සිදුව ඇති මරණ සංඛ්‍යාව මරණ 26ක්.‍

මේ අතර ජපානයේ නව කොරෝනා වෛරස ආසාදිතයන් සංඛ්‍යාව 955 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඉන් වැඩිදෙනෙකු ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවේ මගීන්. මේ වනවිට නෞකාවේ සියලු පිරිස් ඉවත් කර ඇති අතර ඉවත් කෙරුණු අවසන් කණ්ඩායම තවත් සති දෙකක කාලයක් නිරෝධායනය කිරීමට පියවර ගනු ඇති.

මැදපෙරදිග කලාපයේ නව කොරෝනා වෛරසයේ වැඩිම බලපෑම් එල්ලවූ ඉරානය තුළ ආසාදිතයින් සංඛ්‍යාව දහස ඉක්මවා ඇත. මියගිය සංඛ්‍යාව 54 ක්. යුරෝපා කලාපයේ නව කොරෝනා වෛරසයේ වැඩිම බලපෑම එල්ලවි ඇත්තේ ඉතාලියටයි. මේ වන විට එරට ආසාදිතයින් 1700 දෙනෙකු වාර්තා වී ඇති අතර මරණ සංඛ්‍යාව 34 ක්.

වෛරසය ව්‍යාප්තිය හේතුවෙන් තාවකාලිකව වසාදැමුණූ,මිලානෝ නගරයේ ඓතිහාසික දූමෝ දේවස්ථානය අද සිට යළි සංචාරකයින් වෙත විවෘත කර තිබේ. ප්‍රංශයෙන්ද නව කොරෝනා වෛරස් ආසාදිතයින් 130 කට ආසන්න පිරිසක් වාර්තා වී ඇත. වෛරසය ව්‍යාප්තිය හේතුවෙන් පැරිස් නුවර ලෝ පතළ ලුවර් කෞතුකාගාරය වසාදැමීමට බලධාරීන් පියවර ගෙන තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here