අවුරුදු 12 දී සත 75 ක් රැගෙන කරත්තයක නැගී කොළඹට ඇවිත් ව්‍යාපාර ලොව දිග්විජය කළ මැලිබන් මුදලාලිගේ කතාව..

0
571

ශ්‍රී ලංකාවේ බිස්කට් නිෂ්පාදනයන් අතර නම ගිය සන්නාමයක් ලෙස හඳුන්වන්න පුළුවන් මැලිබන්.ඉතින් මේ මැලිබන් බිස්කට් කියලා කියන්නේ කාලාන්තරයක් තිස්සේ ජනතාවට ලාංකීය නිෂ්පාදනයක් ලෙස ප්‍රචලිත වුණු නිමැවුම්ක් කිව්වොත් නිවැරදියි.

ශ්‍රී ලාංකික නිෂ්පාදනයක් ලෙස අද වන විට ලොව පුරා රටවල් ගණනාවක අළවිවන මේ මැලිබන් බිස්කට් එක නිසා  ලොව පුරා බිහි වූ ව්‍යාපාරිකයන් සංඛ්‍යාව අපමණයි. දේශීය නිෂ්පාදනයක් ලෙස මැලිබන් බිස්කට් එක ජනතාව තුළට එන්නේ  අද ඊයෙක ප්‍රතිඵලයක් වශයෙන් නෙමෙයි .ඒ සඳහා පුරෝගාමී වුණු හරි අපූරු පුද්ගලයෙක් සිටිනවා . ඔහු නමින් හින්නි අප්පුහාමි මහතා වේ. අපි අද ඔබට මේ ලිපියෙන් කියන්නේ ඔහුගේ ජීවිත කතාවයි.

කුඩා කල තොරතුරු

අගුලුගහ  ගමගේ හින්නි අප්පුහාමි නොහොත් මැලිබන් මුදලාලි උපත ලබන්නේ වර්ෂ වර්ෂ 1902 දෙසැම්බර් මස දෙවැනි දිනයි. ගාල්ල අක්මීමන ඉහලගොඩ ගම්මානය මොහුගේ උපන් ප්‍රදේශය වන අතර මොවුහු සහෝදර සහෝදරියන් අට දෙනෙකුගෙන් සමන්විත පවුලක ඉතා දුක සේ හැඩි දැඩි වූ පුද්ගලයෙක්.නිරන්තරයෙන්ම පවුලෙ සාමාජිකයන් වැඩි වීම හේතුවෙන්  තම දෙමව්පියන්ට පවුල නඩත්තු කිරීම ඉතාමත් අපහසු වීම නිසා හින්නි අප්පුහාමි තීරණය කරනවා පාසල් අධ්‍යාපනයට සමු දෙන්න. පාසල් අධ්‍යාපනයට සමුදෙන මොහු නිරන්තරයෙන් ම කල්පනා කළේ ව්‍යාපාරයක් ආරම්භ කරන්නේ කෙසේද යන්නයි.

ව්‍යාපාරික ලොවට පිවිසීමේ ආරම්භය

නිරන්තරයෙන්ම අගහිගකම් වලින් පීඩා විදි හින්නි අප්පුහාමි  තම පියාගේ සහෝදරයා ගෙන් උදවු පැතීමට තීරණය කළා .තම පියාගේ සහෝදරයා බේකරි රස්සාවෙන් නිරත වන පුද්ගලයෙක් නිසා  ඔහු යටතේ බේකරි රස්සාව ආරම්භ කිරීමට තිරණය කලා. ටික කාලයක් යන විට  තමන්ගේම ව්‍යාපාරයක් පටන් අරගෙන ආදායමක් ලබා ගැනීමේ ආශාව දිනෙන් දින මොහුගේ හිතේ වැඩුණු සිතුවිල්ලක් බවට පත් වුණා.

ඔහුගේම ව්‍යාපාරයක් ආරම්භ කිරීම

අනුන් යටතේ සේවය කිරීමෙන් කිසිදු පලක් නොවන බව තේරුම්ගත් හින්නි අප්පුහාමි පියාගෙන් ලැබුණු සත හැත්තෑපහක මුදලත් රැගෙන කොළඹට පිටත් වන්නේ අවුරුදු 12 ක් වයස සපිරුණු විටයි. ඉතින් කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේ වගේ කුඩා දරුවෙක් කොහොමද ව්‍යාපාර ලෝකයට මේ වගේ අඩු වයසකින් අවතීර්ණ වෙන්නේ කියලා.ඉතින් උත්සහවන්තයා ජයගනී යන කියමන සනාථ කරමින් මොහුට හැකියාවක් ලැබෙනවා කඩ  කාමරයක් කුලියට ගෙන ඉතා සුළුවෙන් ඔහුගේම තේ කඩයක් ආරම්භ කිරීමට.

 නිරන්තරයෙන්ම අවංක භාවයෙන් වෙළදාම් කළ හින්නි අප්පුහාමි පිරිසුදුකම සහ පිළිවෙළ යන්න නිතරම අගය කළ පුද්ගලයෙක්. තමන්ගේ ස්ථානයට පැමිණෙන සියලුම ව්‍යාපාරිකයන්ට සිනහමුසු මුහුණෙන් සංග්‍රහ කරන මොහු  නිරන්තරයෙන්ම කඩිසර සහ ක්‍රියාශීලී පුද්ගලයෙක් වුණා.

ඔහුගේ කඩිසර ගතිය අවංක භාවය සහ ආහාර වල පිරිසිදු භාවය යන සියලු කරුණු කාරණා හේතුකොට ගෙන බොහෝ පිරිසක් මොහුගේ නිෂ්පාදනයන් මිලදී ගැනීමට ව්‍යාපාරික ස්ථානයට පැමිණියා. දිනෙන් දින දියුණුවට පත් වූ මොහුගේ වෙළඳාම නිසා මුලින් පටන් ගත් කඩය හෝටලයක් දක්වා දියුණු කරගැනීමට ඔහුට හැකියාව ලැබුණා. හෝටලයක් දක්වා ව්‍යාපාරය වර්ධනය කර ගත පසු ඉඩකඩ සීමිත වීම නිසා එම ප්‍රදේශයෙන් බැහැරව මුල්ම හෝටලය ආරම්භ කිරීමට ඔහු තෝරා ගන්නවා මැලිබන් වීදිය.

අතීතයේ මේ වීදිය වැලිපැන්න වීදිය නමින් හැඳින්වුවත් වර්තමානයේ මැලිබන් වීදිය නමින් ප්‍රසිද්ධ වුණා.ඉතින් කුඩා කල පටන් ම පිළිවෙළකට වැඩ කිරීමේ ගුණාංග පුරුදු පුහුණු කරපු මෙතුමාට හැකියාව ලැබෙනවා රස ගුණයෙන් පිරි ආහාර වේලක් තමන්ගේ පරිභෝගිකයාට ලබාදෙන්න.

ඒ වගේම තමයි මොහුගේ ව්‍යාපාරයේ විශේෂත්වය තමයි මොහු පිසින ලද ආහාර සියල්ලම පාරිභෝගිකයාට පිළිගැන්වීමට ප්‍රථම රස බලා එහි අඩුපාඩු සොයා බැලීමයි.ඒ නිසාම මොහුගේ ව්‍යාපාරය දිනෙන් දින දියුණුවට පත් වුණා. 1921 වර්ෂයේ දී මැලිබන් වීදියෙ හෝටලය අළුත්වැඩියා කළ අතර එය මැලිබන් හෝටල යන නමින්  ප්‍රසිද්ධ විය.

ජීවිතයේ හැරවුම් ලක්ෂය 

දිනෙන් දින දියුණු වන මැලිබන් වීදියේ ආපන ශාලාවෙන් උපයාගත් ධනය රැස් කොට මොහුට හැකියාව ලැබෙනවා අලුත් පියවරක් තබන්න .ඔහු වටා සිටින සේවක සේවිකාවන්ගේ සහ මොහුගේ නොපසුබස්නා උත්සාහය හේතුවෙන් ම ඔහුට හැකියාවක් ලැබෙනවා බොරැල්ල පිටකොටුව යන ප්‍රදේශවල තවත් හෝටල් දෙකක් ආරම්භ කිරීමට .

දිනෙන් දින ආර්ථික  අතින් ශක්තිමත් වූ මොහු තම බාල සහෝදරයන්ට  අලුතෙන් ආරම්භ කල මේ හෝටල් දෙක බලා කියා ගැනීම සඳහා අවස්ථාව ලබා දුන්නා . ඔහුගේ ජීවිතය තවත් එක් හැරවුම් ලක්ෂයක් ලෙස හඳුන්වන්න පුළුවන් විස්කෝතු නිෂ්පාදන කර්මාන්තයට ඔහු අවතීර්ණ වූ කාල සීමාව. ව්‍යාපාරික ක්ෂේත්‍රය පිළිබඳ මනා අත්දැකීමෙන් යුක්ත වූ මෙතුමා බ්‍රිතාන්‍ය ජාතිකයෙකු ලංකාවට කැඳවාගෙන ඇවිත් ඔහු ලවා රසවත් බිස්කට් වට්ටෝරු දහයක් සකස් කර ගන්නා අතර ඒ අතරිනුත් ඉතාමත්  රසවත් බිස්කට් වට්ටෝරුවක් ඔහු තෝරා ගන්නවා.

එතැන් පටන් බිස්කට් නිෂ්පාදනය සඳහා තම අවධානය යොමු කරන අතර එසේ නිපදවූ බිස්කට් මැලිබන් බිස්කට් නමින් දෙස් විදෙස් රටවල් පුරා ප්‍රසිද්ධියට පත්විය. රත්මලාන ප්‍රදේශයේ ස්ථාපිත කරපු මැලිබන් බිස්කට් කර්මාන්ත ශාලාව එවකට එම ප්‍රදේශයේ විශාල පිරිසකට රැකියා අවස්ථා ලබා දුන් සාර්ථක ව්‍යාපාරයක් බවට පත් වුණා.

විවාහ ජීවිතය 

ව්‍යාපාර කටයුතුවල සාර්ථකත්වයට පත් වෙමින් ආ ගමනේදී ඔවුහු විවාහ වීමට තීරණය කරන්නේ විමලාවතී මෙනවිය  නමැති තරුණියක් සමඟයි .මෙම විවාහයෙන් ඔහුට පිරිමි දරුවන් දෙදෙනකු සහ ගැහැණු දරුවන් සය දෙනකුගෙන් යුත් දරුවන් අට දෙනෙකුගේ පියෙකු බවට පත්වීමට හැකියාව ලැබෙනවා.

සමාජ මෙහෙවර 

නොයෙක් දුක්විඳ දියුණුව අත්පත් කරගත් පුද්ගලයෙකු වශයෙන් ඔහු සමාජය වෙනුවෙනුත් යම් කිසි මෙහෙවරක් ඉටු කිරීමට අමතක කළේ නැත . එනිසාම ඔහු තමන් උපන් ප්‍රදේශයේ රෝහලක් ඇති කරමින් ගමේ මිනිසුන්ට අවශ්‍ය සෞඛ්‍ය පහසුකම් සලසා දීමට කටයුතු කලේ තමන් උපන් ප්‍රදේශයට  කළ කළගුණ සැලකීමක් වශයෙන් ය .

ඒ වගේ ම තමයි වර්තමානය වන විටත් බොහෝ අවස්ථාවන්වල දී මැලිබන් නාමය යටතේ ක්‍රියාත්මක වන සමාජ මෙහෙවර අතිමහත්ය .කුඩා තැනින් ජීවිතය පටන් ගෙන සාර්ථක ව්‍යාපාරිකයකු බවට පත්වූ මැලිබන් මුදලාලි හෙවත් හින්නි අප්පුහාමි යනු ශ්‍රී ලාංකීය  නාමය දෙස් විදෙස් රටවල් වල පැතිර වූ විශිෂ්ට පුද්ගලයෙක් ලෙස ඉතිහාසයට එක් වේ.

M.ශෂිකලා මධුෂානි
B.A in communication studies

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here