දරුවන්ට වැළදෙන MISC රෝගය භයානකයි.. ඒත් සුවකළ හැකියි..

0
1059

ගෝලීය වසංගතයක් බවට පත්ව තිබෙන කොවිඩ්-19 රෝග තත්ත්වය විවිධ වයස් කාණ්ඩයන්ට දැඩි බලපෑම් එල්ල කරමින් පවතින බව රහසක් නොවේ. මේ දක්වා කුඩා දරුවන්ට ඇතිකළ බලපෑම අල්ප වුවද දැන් දැන් ඔවුන්ට ඇතිකරන බලපෑම පුළුල් වෙමින් පවතින බව වෛද්‍යවරු ප්‍රකාශ කරති. මේ බලපෑම මේ වන විට මෙරට දරුවන් වෙතද පැමිණෙමින් තිබෙන බවට වාර්තා වේ. කොවිඩ් වයිරසය ආසාදනය වී සුව වූ දරුවන් අතර දක්නට ලැබෙන Multisystem Inflammatory Syndrome in Children (MISC) බරපතළ රෝගී තත්ත්වයට අද අපේ දරුවන් ගොදුරු වෙමින් පවතී. මේ එ් රෝගය සම්බන්ධයෙන් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩිසත්කාර ඒකකය භාර ළමා රෝග විශේෂඥ වෛද්‍ය නලීන් කිතුල්වත්ත මහතා සමග පැවති සම්මුඛ සාකච්ඡාවකි.

කොවිඩ් රෝගය වැලඳී සුව වූ දරුවන් අතර පැතිර යන මාරාන්තික විය හැකි රෝගයක් පිළිබඳ මේ දිනවල කතාවෙනව. මොකක්ද මේ රෝගය…?

කොවිඩ් වයිරසය ආසාදනය වී සති 2 – 6ක් අතර කාලයක් ඇතුළත මෙම රෝගී තත්ත්වය දරුවන්ට වැලඳිය හැකිය. මෙය අපි Multisystem Inflammatory Syndrome in Childer MISC යනුවෙන් හඳුන්වනවා. මෙය මාරාන්තික විය හැකියි කියලා කියන්නේ ශරීරයේ සියලුම අභ්‍යන්තර ඉන්ද්‍රියන් අකර්මණ්‍ය කිරීමට බලපෑම් ඇතිකරන තත්ත්වයක් නිර්මාණය කරන නිසයි.

MISC රෝගය දරුවන්ට වැලඳී ඇති බව දැන ගන්නේ කොහොමද?

කොවිඩ් වැලඳී සති 2 – 6 අතර කාලයක් ගිය පසුව උණ, හිසරදය, ඇඟපත වේදනාව, විශේෂයෙන්ම උදරයේ තදබල වේදනාවත් සමග ඇතිවන පාචන තත්ත්වය, ඇස් රතුවීම, සමේ රතුපැහැති බිබිලි මතුවීම වැනි රෝග ලක්ෂණ මතුවෙන්න පුළුවන්. ඇතැම් අවස්ථාවන්වලදී ‘ඇපෙන්ඩිසයිටිස්’ රෝග ලක්ෂණ එන්නත් පුළුවන්.

මේ රෝග ලක්ෂණ මතුවුණාම ඇතැම් අය ඩෙංගු කියලා විශ්වාස කරනවා. තවත් සමහර අය මී උණ කියලා විශ්වාස කරලා ප්‍රතිකාර කරනවා. මොකද මෙහි තද උණ සමග පාචන තත්ත්වයක් නිතරම දක්නට ලැබෙනවා. මී උණ රෝගයේත් මෙවැනිම රෝග ලක්ෂණ තමයි පවතින්නේ. ඒ නිසා මෙවැනි රෝග ලක්ෂණයක් මතු වූ වහාම දරුවා රෝහල්ගත කිරීම ඉතාමත් ඉක්මනින් කළ යුතු වෙනවා.

 

මේ රෝග ලක්ෂණ මාරාන්තික තත්ත්වයක් දක්වා ගමන් කරන්නේ කොහොමද?

මෙය මාරාන්තික වන්නේ මේ රෝගය ශරීරයේ අවයව බොහෝමයකට බලපෑම් ඇති කරනවා. විශේෂයන්ම හෘදය අකර්මණ්‍ය වීමට ඉඩ තිබෙනවා. මෙය මාරාන්තික තත්ත්වයක්. ඒ විතරක් නෙවෙයි වකුගඩු, ඇස්, පෙණහලු අක්මාව වැනි අවයව බොහෝමයකට බලපෑම් ඇති කරනවා. හෘදය අකර්මණ්‍ය වීම නිසා රුධිර පීඩනය පහළ බහිනවා. ඒ නිසා හෘදය යථා තත්ත්වයට පත්කිරීම සඳහා විශේෂ ඖෂධ ප්‍රතිකාරයන් ලබා දෙනවා.

අපි අහලා තියෙනවා ඇතැම් දරුවන්ට කොවිඩ් හැදුණත් ඒ බවක් දැනගැනීමට කිසිදු රෝග ලක්ෂණයක් පෙන්නුම් නොකරන බව. ඒ කියන්නේ කොවිඩ් වයිරසය ආසාදනය වී රෝගය වැලඳී ඉබේම සුවය ලබනවා. මේ වගේ දරුවකුට රෝග තත්ත්වය මතු වුණොත් එය MISC රෝගයම කියලා නිවැරදිව දැන ගන්නේ කොහොමද?

ඉහත සඳහන් කළ රෝග ලක්ෂණ සහිතව දරුවන් රෝහල වෙත ආ පසුව අපි අනිවාර්යයෙන්ම ඒ දරුවාගේ පීසීආර් පරීක්ෂණයක් හෝ ඇන්ටිජන් පරීක්ෂාවක් කරනවා. එහෙම කරල ඒ දරුවා කොවිඩ් වයිරසය ආසාදනය වුණ දරුවෙක්ද කියලා මුලින්ම බලනවා. ඒ වාර්තාවන් දෙකම ආසාදිත බව හඳුනා ගන්න බැරිවුණොත් දරුවාගේ ප්‍රතිදේහ පරීක්ෂණයක් කරනවා. දරුවාට කොවිඩ් වයිරසය ආසාදනය වී තිබේද නැද්ද යන ප්‍රතිදේහ පරීක්ෂාවෙන් නිවැරදි ව හඳුනාගන්න පුළුවන්. ඒ අනුව තමයි අපි නිගමනය කරන්නේ ඒ දරුවාට කොවිඩ් රෝගය වැලඳී දැන් සුවය ලැබූ අයෙක් බව.

අපේ දරුවන් අද සිටින්නේ නිවෙස්වල. ඇතැම් දරුවන්ට දැඩි රැකවල් දමාගෙනයි දෙමාපියන් දරුවාව රැකබලා ගන්නේ. එවැනි දරුවකුට කොවිඩ් වයිරසය ආසාදනය වී රෝග ලක්ෂණ නොපෙන්වා සුවය ලැබුණා යැයි සිතන්න. පසුව එම දරුවාට MISC රෝගය වැලඳුණහොත් දෙමාපියන්ට ඒ පිළිබඳව විශ්වාස කළ හැකිද?

ඇත්තටම මේ තත්ත්වය අද ප්‍රශ්නයක් වෙලා. මොකද රිජ්වේ ආර්යා ළමා රෝහල වෙත ඉහත සඳහන් කළ රෝග ලක්ෂණ සහිතව දරුවන්ව රැගෙන ආ පසුව අපි පීසීආර් පරීක්ෂණයක් හෝ ඇන්ටිජන් පරීක්ෂාවක් කරනවා. ඒ පරීක්ෂණ දෙකම නෙගටිව් වන අවස්ථාවන් තියෙනව. අනතුරුව අපි දරුවාගේ ප්‍රතිදේහ පරීක්ෂාවක් කරල තමයි කොවිඩ් රෝගය වැලඳී තිබෙනවාද නැද්ද කියලා නිගමනයකට ඒන්න පුළුවන් වන්නේ. සමහර දරුවන්ගේ දෙමාපියන් එතකොට තමයි දන්නේ දරුවාට කොවිඩ් වැලඳිලා සනීපත් වෙලා තියෙනවා කියලා. ඒ වාර්තාව නිකුත් වෙනකල්ම දෙමාපියන් විශ්වාස කරන්නේම නැහැ දරුවාට කොවිඩ් හැදිලා තියෙනවා කියලා. ඇතැම් දෙමාපියන් අපිත් එක්ක තර්ක කරනවා. “දරුවාට කොවිඩ් හැදෙන්න කිසිම හේතුවක් නැහැ. ඒ අය නිවසින් බැහැර රැගෙන ගියේම නැහැ. අනික නිවස තුළත් සෞඛ්‍ය ආරක්ෂිත වැඩපිළිවෙළ අකුරටම සිදුකරනවා” කියලා.

දරුවාට කොවිඩ් වැලඳී රෝග ලක්ෂණ නොපෙන්වා සුව වූ දරුවන්ට මේ අලුත් රෝගය වැලඳුණහොත් ඒ බව දෙමාපියන් දැනුවත් නැහැ. දරුවාව පවුලේ වෛද්‍යවරයා වෙත ගෙනගොස් ප්‍රතිකාර ලබාගන්නා අවස්ථාවන් තිබිය හැකිය. මෙවන් දෙමාපියන්ට දිය හැකි උපදෙස් කුමක්ද?

ඇත්තෙන්ම මේ රෝගය අලුත් රෝගයක්. දෙමාපියන් තියා බොහෝමයක් වෛද්‍යවරුන් වත් දැනුවත් නැහැ. වෛද්‍යවරයා වුණත් පාචන තත්ත්වක් සමග ඉහත සඳහන් කළ රෝග ලක්ෂණ සහිතව දරුවෙක් මේ දිනවල ප්‍රතිකාර සඳහා යොමු වුණොත් ඒ පිළිබඳව වැඩි සැලකිල්ලක් දැක්විය යුතුයි.

රෝගය සම්බන්ධයෙන් විශේෂයෙන්ම ළමා රෝග වෛද්‍යවරුන්ව දැනුවත් කිරීමේ‌ විශේෂ වැඩපිළිවෙළක් තිබෙනවාද?

ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගම දැනටමත් වෛද්‍යවරුන්ව දැනුවත් කිරීම ආරම්භ කරලා තියෙනවා. මොකද මේක ලෝකයටම අලුත් රෝගයක් මේ වයිරසයේ හැසිරීම කොයිවගේද කියලා අපි කවුරුත් දන්නේ නැහැ. ඒ නිසා මේ ගැන නිරන්තරයෙන්ම දැනුවත් විය යුතුයි.

දැනට මේ රෝග තත්ත්වය සහිත දරුවන් වැඩි වශයෙන්ම වාර්තා වන්නේ කිනම් ප්‍රදේශවලින්ද?

කොළඹ රිජ්වේ ආර්යා රෝහල වෙත ප්‍රතිකාර සඳහා පැමිණි දරුවන් බොහෝ දෙනකු වාර්තා වුණේ කොළඹ හා තදාසන්න ප්‍රදේශවලින්. වැලිමඩ ප්‍රදේශයෙනුත් දරුවෙක් වාර්තා වුණා. ඒ දරුවා බදුල්ල රෝහලට ඇතුළත් කරල අවශ්‍ය ප්‍රතිකාර ලබා දී තිබෙනවා. පසුගිය දිනවලදී දරුවන් 15 දෙනෙක් පමණ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කළා. ඉන් දරුවන් 6 දෙනකුම මේ වන විටත් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා. කොහොම නමුත් මේ රෝගය දැනට රටපුරාම පැතිරී යාමේ බරපතළ අවදානමක් තිබෙනවා.

MISC රෝගය සුව කළ හැකි ප්‍රතිකාර අප රෝහල් සතුව පවතිනවාද?

ඔව්. නමුත් දරුවාව කල්වේලා ඇතිව රෝහල් ගත කළ යුතුයි. මොකද මේ රෝගයේදී සිදුවන්නේ රුධිර පීඩනය අඩුවෙන එක. ඒ නිසා රුධිර පීඩනය යථා තත්ත්වයට පත්කරන්න ඖෂධ ප්‍රතිකාර ලබා දිය යුතුයි. එය සිදුකරන්නේ දැඩි සත්කාර ඒකකයක් තුළදී. මේ අනුව අවශ්‍ය ප්‍රතිකාර කඩිනමින් ලබා දීමෙන් රෝගය සම්පූර්ණයෙන්ම සුව කරගන්න පුළුවන්. ඇතැම් දරුවන්ට වකුගඩුවලට, පෙණහලුවලට හෘදයට දැඩි බලපෑම් එල්ල කරනවා. වකුගඩුවලට දැඩි බලපෑමක් එල්ල වුණ දරුවෙක් ළමා රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා. ඒ දරුවාට රුධිර කාන්දුකරණය පවා කරන්න සිදුවෙනවා. එහෙම කරන අතර තමයි නියමිත ඖෂධ ලබා දීලා රුධිර පීඩනය යථා තත්ත්වයට පත්කළයුතු වෙන්නේ.

මෙම රෝගයට ගොදුරු වූ දරුවකු සුව කිරීම සඳහා අවශ්‍ය ඖෂධ අප සතුව තියෙනවද?

මේ රෝගය වැලඳුණ සෑම දරුවෙකුට ලබා දිය යුතු ඖෂධයක් තියෙනවා. ඒ ඖෂධයට විතරක් ලක්ෂ ගණනාවක් වැය වෙනවා. මේ ඖෂධය දෙන්නේ දරුවන්ගේ බරට අනුව. දරුවාගේ වයස වැඩිවෙන්න වැඩිවෙන්න බර වැඩිවීම අනුව වැය කරන්න සිදුවෙන මුදලත් වැඩිවෙනවා. ඒ විතරක් නෙවෙයි මෙම රෝගයට ගොදුරු වූ දරුවකු සුව කර ගැනීම සඳහා දැඩිසත්කාරයක් වෙත යොමු කළ යුතුවෙනවා. දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන රෝගියකුට බෙහෙත්වලට අමතරව අති විශාල මුදලක් වැයවෙනවා. මෙය ලක්ෂ ගණනක් වෙනවා

රෝගයට ගොදුරු වෙන්නේ ළමයින් පමණද?

දැනට ලෝකය පුරා මේ රෝගයට ගොදුරු වෙන්නේ දරුවන් කියලා තමයි වාර්තා වෙන්නේ. ඒත් මේ වයිරසයේ හැසිරීම තවම හරියටම කවුරුත් දන්නේ නැහැ. ඒ නිසා කොවිඩ් වැලඳුණු වැඩිහිටියන් අතරත් මේ රෝගය ඇතිවෙයිද කියල දන්නේ නැහැ.

මේ රෝගය ගැන වාර්තා වන පළමු අවස්ථාව ද මේ?

මේ රෝගය ගැන අපි දැනගත්තේ පසුගිය වසරේදී නමුත් අපේ රටින් මෙම රෝගී දරුවන් වාර්තා වෙන්න පටන් ගන්නේ දැන්. කොහොම නමුත් දැන් දැන් රෝගීන් වැඩිවීමක් දක්නට ලැබෙනවා. මේ තරම් රෝගීන් සංඛ්‍යාවක් එකවර රෝහල් ගතවෙයි කියලා හිතුවේ නැහැ. ඉදිරියේදී මේ තත්ත්වය තවත් වර්ධනය වෙයි කියලා අපි විශ්වාස කරනවා.

පසුගිය වසරේ කිව්වේ මේ රෝගය තවත් රටවල්වල තිබෙනවාද?

මේ රෝගය මුලින්ම වාර්තා වුණේ 2020 අප්‍රේල් මාසයේදී එංගලන්තයෙන්. මේ වන විට ලෝකයේ බොහෝ රටවල්වලින් ළමා රෝගීන් වාර්තා වෙනවා.

දරුවන් අතරේත් මේ රෝගය පැතිර යාමේ වයස් කාණ්ඩයක් තියෙනවාද?

දැනට වාර්තාවෙන අන්දමට අවුරුදු 8 – 12 අතර වයස් කාණ්ඩවල දරුවන් අතර මේ රෝගය පැතිරීමක් දක්නට ලැබෙනවා. කොහොම නමුත් ලෝකයේම ගත්තාම වයස අවුරුදු 1 – 20 අතර ළමුන්ට. නමුත් මේ රෝගය ලෝකයට අලුත්. ඒ නිසා අපි දන්නේ නැහැ ඉදිරියට මෙහි හැසිරීම කොයිවගේ වෙයිද කියලා. මොන මොන වයස් කාණ්ඩයන්ට බලපෑම් ඇති කරයිද කියලා අපි දන්නේ නැහැ.

මේ රෝගය සුව වූ දරුවන්ව රැකබලාගැනීමට දෙමාපියන්ට දිය හැකි උපදෙස කුමක්ද?

අපි දෙමාපියන්ට කියන්නේ වෛද්‍යවරයා කියන අන්දමට දරුවාව නියමිත වේලාවට නියමිත දිනයට වෛද්‍ය සායනයට රැගෙන ආ යුතුයි. ඒ වගේම නියමිත වේලාවට ඖෂධ ටික දරුවාට ලබාදිය යුතුයි. වෛද්‍ය පරීක්ෂණයන් සඳහා ලබා දී තිබෙන දිනයට නොවරදවාම රෝහල වෙත පැමිණ අදාළ පරීක්ෂණ කර ගත යුතුයි කියලයි.

MISC රෝගය සුව වූ පසුව දරුවන්ට ඇතිවිය හැකි සෞඛ්‍යමය බලපෑමක් තිබෙනවාද?

දරුවා සනීප වී නිවසට ගියත් එතැනින් රෝගය අවසන් වෙන්නේ නැහැ. මෙහි ගැටලුව තියෙන්නේ හෘදය සම්බන්ධයෙන්. ඒ පිළිබඳව නැවත නැවත විපරම් කරන්න අවශ්‍යයි. සමහර දරුවන්ව මාසෙන් මා‍සෙට ගෙනැල්ලා හෘදයේ ක්‍රියාකාරීත්වය පරීක්ෂා කරන්න අවශ්‍ය වෙනවා. නැතිනම් සති දෙකින් දෙකට හෝ මාස දෙකින් දෙකට හෝ පරීක්ෂා කිරීම් කරන්න වෙනවා. වකුගඩුවලට, ඇස්වලට, පෙණහැල්ලට, අක්මාවට මේ රෝගයෙන් බලපෑම් ඇති කර තිබෙනවා නම් ඒ පිළිබඳව වෛද්‍යවරයා දෙමාපියන්ව දැනුවත් කරනු ලබනවා. ඒ අනුව කටයුතු කිරීම පමණයි කළ යුත්තේ.

අනික මේ රෝගයෙන් ඉදිරියට මොනවගේ සෞඛ්‍ය බලපෑමක් ඇති කරයිද කියලා තවම කියන්න පුළුවන්කමක් නැහැ. මොකද මේ රෝගය ලෝකයට තවමත් අලුත් නිසා. කොහොම නමුත් පරිස්සම් වීම තමයි දැනට දෙන්න තියෙන හොඳම උපදෙස.

ඉදිරියේදී ඒමට නියමිත කොවිඩ් මීළඟ රැල්ලේදී දරුවන්ට දැඩි බලපෑමක් එල්ල විය හැකි බවට මත පළකර තිබෙනවා. මේ බලපෑමෙන් අපේ දරුවන්ව රැක ගත යුත්තේ කෙසේද යන්න ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයෙක් ලෙස ලබා දිය හැකි පණිවුඩය කුමක්ද?

තුන්වැනි කොවිඩ් රැල්ල දරුවන්ට කොයිවගේ බලපෑමක් ඇතිකරයිද කියන්න බැහැ. ළමයින්ට හැදෙනවා අඩුයි කිව්වාට මේ වන විට ලොව පුරා ළමුන් විශාල සංඛ්‍යාවකට රෝගය වැලඳලා තියෙනවා. ඒ වගේම දැනට පැතිරෙන වයිරස් දරුවන්ට පොඩි බලපෑමක් එල්ල කළාට ඉදිරියේදී මේ වයිරස වෙනස් වෙන්න පුළුවන්. ඒ වයිරස් ප්‍රභේදයන් වෙනස් වීම තුළ දරුවන්ට කොයිවගේ බලපෑමක් ඇති කරයිද කියලා අපිට කියන්න පුළුවන්කමක් නැහැ.

•සංවාදය – ශ්‍රියානි විජේසිංහ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here