සරණාගත කඳවුරෙන් පාපන්දු අරඹා ලොව විශිෂ්ටතම මැදපෙළ ක්‍රීඩකයා බවට පත්වූ ක්‍රොඒෂියා පාපන්දු නායකයාගේ කතාව…

0
220

කුඩා ලුකාට වයස අවුරුදු 06 වන විට සිය සමීපතමයකුගේ අනපේක්ෂිත ම රණය ජීවිතයේ බරපතළ බව පසක් කළේය. ලුකාගේ මවුපියන් රැකියාවලට ගිය විට ඔවුන්ගේ පුතුව රැකබලා ගත්තේ සීයා විසිනුයි. එපමණක් ද නොව ඔවුන් ජීවත් වූ නිවසත් ගිනි තබා විනාශ කර තිබුණි.

අවසානයේ දී සිදු වන්නේ මේ පවුලට සරණාගත කඳවුරක රැඳී සිටීමටයි. ලුකාගේ පවුල යුගොස්ලාවියානු සිවිල් යු ද්ධයට මැදිහත් වූයේ ඒ ආකාරයටයි.

“යු ද්ධය නිසා මාව ශක්තිමත් වූනා. මටත් මගේ පවුලටත් එය දරා ගන්න අමාරු වුණා. මට ඒ අත්දැකීම සදාකාලිකව රැගෙන යන්න අවශ්‍ය නැහැ. ඒ වුණත් මට එය අමතක කරන්නත් ඕනෑ නැහැ.” ලුකා පසු කළෙක පැවසීය. එම යු ද්ධයට මැදිහත් වූ බොහෝ දෙනා යුරෝපයට ගියහ. නමුත් මොඩ්රිච් පවුල ක්‍රොයේෂියාවේ ම නතර විය. ලුකාගේ පියා එරටේ යුද හමුදාවට බැඳුණි.

එදා සරණාගතයෙක් වූ ලුකා අද වන විට ක්‍රොයේෂියාව නැමැති කුඩා රටේ වීරයෙක් වී අවසන්ය. ඒ ලුකා මොඩ්රිච් නමින් විශිෂ්ටතම පාපන්දු තරුවක් වෙමින්ය. එපමණක් ද නොව 2018 ලෝක කුසලාන අනුශූර කණ්ඩායමේ නායකයාත් ඔහුය. එමෙන් ම 2018 ලෝක කුසලාන තරගාවලියේ විශිෂ්ටතම ක්‍රීඩකයාත් ඔහුය. එසේම වසර 10 ක් පුරාවට මාරුවෙන් මාරුවට ආජන්ටිනාවේ ලියොනෙල් මෙසී හා පෘතුගාලයේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ විසින් ලබාගත් වසරේ විශිෂ්ටතම පාපන්දු ක්‍රීඩකයාට පිරිනමන බැලන් දෝර් සම්මානයද එම වසරේදී ලුකා විසින් දිනාගත්තා.

 

සරණාගත කඳවුරේ කාලය ගත කරන විට ලුකාගේ අවධානය පාපන්දු ක්‍රීඩාවට යොමු විය. අවසානයේ දී සෙසු බාල – තරුණ පිරිසත් සමඟ ලුකා පාපන්දු ක්‍රීඩා කරන්නේ රථ ගාලකය.

පසුව ඔහුට ක්‍රීඩා ඇකඩමියකට ඇතුළත් වීමට අවස්ථාව සැලසෙයි. එහිදී ඔහුට උපකාර කරන්නේ මාමා වන ටොමිස්ලාව් බෙසීච්ය. ලුකාට තම පියා විසින් ලබා දුන් ප්‍රථම පා ආවරණය ඔහුට අමතක නොවේ.

“තාත්තා මට ලබා දුන් පළමු පා ආවරණයේ බ්‍රසීලයේ රොනල්ඩෝගේ පින්තූරයක් තිබුණා. ඒකට මම ගොඩාක් කැමැති වුණා.”

කෙසේ වෙතත් ලුකාගේ හැකියාව ගැන කිසිවකුටවත් සැකයක් තිබුණේ නැත. එහෙත් ඇතැම් පුහුණුකරුවන් ඔහුට අවස්ථාවක් ලබා දීමට ඉදිරිපත් වූයේ නැත. ඒ ඔහු ළාබාල වීමත් කෙසඟ සිරුරක් තිබීමත් කුලෑටි ගතියෙන් යුතු බවටත් සඳහන් කරමිනි.

ඒ කුමන බාධක මතු වුවත් ලුකා මොඩ්රිච් සිය ක්‍රීඩා දිවිය සාර්ථක කර ගැනීමට සමත් විය. ඊට ඔහුගේ කැපවීමත් හැකියාවත් බලපෑවේය. ලුකා මොඩ්රිච් මෙන් ම යුද්ධයේ අමිහිරි අත්දැකීම් ලැබූ තවත් ක්‍රීඩකයකු මෙවර ලෝක කුසලානයට සහභාගි විය. ඔහු ලුකාගේ කුඩා කළ සිටම මිතුරෙකි. ඒ අන්කවරෙක් හෝ නොව දැල් රකින ඩැනියෙල් සුබාසිච්ය. ඔවුන් දෙදෙනාම එකම ගමක මිතුරන්ය.

ක්‍රො‍යේෂියානු ක්‍රීඩකයකු මීට පෙර මෙම සම්මානය සඳහා නිර්දේශිත වී තිබුණේ වතාවක් පමණකි. ඒ 1998 දීය. එහිදී ඩාවර් සුකර්ට තෙවැනි ස්ථානය හිමි විය. එවර ලෝක කුසලාන තරගාවලියේ තෙවැනි ස්ථානය හිමි කර ගත්තේ ද ක්‍රොයේෂියාවයි. එහිදී වැඩි ම ගෝල ගණනක් (06) රැස් කරමින් රන් සපත්තුව හිමි කර ගත්තේ ද සුකර්මය.

ලුකා ස්පාඤ්ඤයේ රියල් මැඩ්රිඩ් කණ්ඩායමට වසර කිහිපයක් ම ක්‍රීඩා කරයි. ඉදිරි කාලයේ දී හෙතෙම වෙනත් කණ්ඩායමකට එක් වීමට බොහෝ දුරට වැඩි අවස්ථාවක් තිබේ. විශේෂයෙන් ම ඔහුගේ වයසත් සලකා බලමින් ඔහුව සිය කණ්ඩායමෙන් නිදහස් කිරීමට රියල් මැඩ්රිඩ් තීරණය කිරීමට ඉඩ තිබේ. ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ මේ වන විටත් ඉතාලියේ යුවෙන්ටස් කණ්ඩායමට එක් වී ඇත.

ලුකාගේ මවුපියන් වන්නේ ස්ටයිපි සහ රාඩෝකාය. පියා ගුවන් කාර්මිකයෙකි. මව පෙහෙකම්හලක සේවය කළාය. ලුකා පවුලේ වැඩිමලාය. ඔහුට නැගණියන් දෙදෙනෙකි. ඒ යැස්මිනා සහ ඩියෝරාය. ඔහුගේ බිරිය වන්යා බොස්නිච්ය. 2010 වසරේදී විවාහ වූහ. මෙම යුවළට මේ වන විට ඉවනෝ පුත්‍රයාත් එමා දියණියත් සිටිති.

ඔහුගේ ආගම කතෝලිකය. ඔහුට පටබැඳී තිබෙන නම වනුයේ බෝල්කනයේ ක්‍රයිෆ් ය. ක්‍රයිෆ් යනු යොහාන් ක්‍රයින් ය. හෙතෙම 1974 ලෝක කුසලාන අනු ශූරතාව හිමි කර ගත් නෙදර්ලන්තයේ විශිෂ්ටතම ක්‍රීඩකයා ය. ලුකාට පටබැඳුණු වෙනත් නම් අතරට කුරුල්ලා, මැදපෙළ විජ්ජාකරු සහ මැදපෙළ මාස්ටර් ද වේ.

කුඩා රටක් වුවත් ස්වාධීන වීමෙන් අනතුරුව ක්‍රීඩා කිහිපයකින් ලොව සුපිරි මට්ටම කරා පැමිණීමට ක්‍රොයේෂියාවට හැකි විය. ඒ ටෙනිස්, මලල ක්‍රීඩා, පාපන්දු, හෑන්ඩ්බෝල් (අත්පන්දු) සහ වෝටර්පෝලෝ ක්‍රීඩාවලින්ය. එහිදී දස්කම් දැක්වූ ඇතැම් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ එරටේ සුපිරි තරු බවට පත් වූහ.

ගොරාන් ඉවනීසිවිච් සහ මාරින් චිලිව් ක්‍රො‍‍ෙය්ෂියානු සුපිරිතම ටෙනිස් තරුය. ගොරාන් 2001 විම්බල්ඩන් කේවල (තනි) ශූරයා ය. මාරින් 2014 ඇමෙරිකානු විවෘත කේවල ශූරයා ය. මීට අමතරව 2017 විම්බල්ඩන් සහ 2018 ඔස්ට්‍රේලියානු විවෘත කේවල අනුශූරයා ය.

එරටේ සුපිරිතම මලල ක්‍රීඩිකාව වන්නේ බ්ලැන්කා ව්ලාසිච් ය. ඇගේ ඉසව්ව උස පැනීමයි. ඇයට ඔලිම්පික් රිදී (2008) සහ ලෝකඩ (2016) පදක්කම් හිමිය. මීට අමතරව ලෝක ශූරතාවලි ද්විත්ව රන් පදක්කම් (2007/09) සහ රිදී පදක්කම් (2011/15) හිමිය. ක්‍රොයේෂියානු පිරිමි හෑන්ඩ්බෝල් ජාතික කණ්ඩායම දෙවතාවක් ම ඔලිම්පික් ශූරයෝ ය. ඒ 1996 සහ 2004 වසරවලදීය. මීට අමතරව ඔවුන් 2012 ලෝකඩ පදක්කම්ලාභීන්ය. එමෙන්ම 2003 ලෝක ශූරයෝය. තවද ත්‍රිත්ව රිදී පදක්කම්ලාභියෝ ය. ඒ 1995, 2005 සහ 2009 වසරවලදීය. එමෙන් ම 2013 ලෝකඩ පදක්කම්ලාභින්ය.

එරටේ වෝටර්පෝලෝ පිරිමි ජාතික කණ්ඩායම 2012 ඔලිම්පික් ශූරයෝය. තවද 1996 සහ 2016 රිදී පදක්කම්ලාභින්ය. මීට අමතරව ලෝක ශූරතාව 2007 සහ 2017 හිමිකරගෙන ඇත. 2015 අනුශූරයෝය. 2009, 11, 13 ලෝකඩ පදක්කම්ලාභින්ය.

සුපිරිතම පාපන්දු තරු ලෙසට මීට පෙර සැලකුවේ ඩාවර් සුකර්, ඇලෙන් බොක්සිච් සහ රොබර්ට් ප්‍රොසිනෙකි ය. දැන් ඒ අතරට ලුකා මොඩ්රිච් ද එක් වී අවසන්ය. මේ වනවිට පැවැත්වෙන යුරෝපා කුසලාන පාපන්දු තරගාවලියේද ලුකාගේ නායකත්වය යටතේ ක්‍රොඒෂියා කණ්ඩායම ජයග්‍රාහී ගමනක නියැලෙමින් ඇත. මේ වන විට එම තරගාවලිය තුල ක්‍රොඒෂියා කණ්ඩායම අවසන් 16 දෙනා අතරට තේරි පත් වී ඇත.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here